“යශෝධරා” දැවැන්ත උත්සාහයක විශිෂ්ඨ ඵල දැරීමක්

බෞද්ධ සාහිත්‍යය ලාංකික ජන සාහිත්‍යයේද නොමඳ ආදරයටත්, ගෞරවයටත් ලක්වූ පූජනීය සිද්ධර්ථ – යශෝධරා ප්‍රේම වෘත්තාන්තය පාදක කරගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්යක්ෂණය කළ “බිම්බාදේවි හෙවත් යශෝධරා” චිත්‍රපට ගතවූ වෙසක් උළෙල නිමිති කරගනිමින් පසුගිය අප්‍රේල් මස 26දා සිට දිවයින පුරා ඊ.ඒ.පී.සිනමාශාලා 35කට අධික ප්‍රරමාණයක තිරගතකොට අවසන් වූයේ මේ නොබෝදා ය. මාස තුනකට අධික කාලයක් අතිවිශාල ප්‍රේෂක සහභාගීත්වයකින් යුතුව අති සාර්ථකව තිරගත වූ “බිම්බාදේවි හෙවත් යශෝධරා” මෑත කාලීනව ශ්‍රී ලංකාවේ වාර්තාගත ආදායම් ලද චිත්‍රපටයක් ලෙසද ඉතිහාසයට එක් වී ඇත. මුළුමහත් ශ්‍රී ලාංකික බොදු ජනයාගේ නොමඳ ගෞරවයට ලක් වූ කාන්තාවක් වූ යශෝධරා දේවිය හා සිදුහත් කුමරුගේ ප්‍රේම සම්බන්ධතාවය හා ඇගේ පූජනීය පති භක්තිය පිලිබඳ සංවේදී අවස්ථා හා සිදුවීම් පෙළ විශිෂ්ට සෞන්දර්යාත්මක හා සියුම් අවධානයක් ලබාදෙන අයුරින් ප්‍රතිනිර්මාණය වී තිබීම නිසාම එය මෙරට සිනමා ප්‍රේෂකයින් ගේ අවධානය හා ආකර්ශණය නොමඳව ලබාගත් අතර බොහෝ ප්‍රේෂකකයින් පවසා සිටියේ මේ ච්ත්‍රපටයේ ඇතැම් දර්ශන ඇසට කඳුලක් හා යසෝදරාව කෙරේ මහත් කරුණාබර හැඟීමක් ජනිත කළ බවකි. චිත්‍රපටයේ රංගනයන් ඇතුලු සියලු ශිල්පීය අංග එකම සෞන්දර්යාත්මක හා මානවවාදී හැඳම්බර මට්ටමකට යොමුකරන්නට අධ්‍යක්ෂවරයා ගත් ප්‍රබල උත්සාහය ඒ අනුව සාර්ථක වී ඇති බැව් පැහැදිලි ය.

චිත්‍රපටයේ නිෂ්පාදක එච්.ඩී.ප්රේමසිරි මහතා පැවසූ පරිදි බිම්බාදේවී හෙවත් යශෝධරා ඔහු මෙතෙක් නිෂ්පාදනය කළ වැඩිම පිරිවැයක් දැරූ චිත්‍රපටය මෙන්ම විවාදාත්මක චිත්‍රපට වේ. සිදුහත් හා යශෝධරා චරිත සඳහා ඉන්දීය රංගන ශිල්පීන් යුගලක් වූ ඒ. චෞද්රී හා පල්ලවී සුභාෂ් යොදා ගැනීමේ අභියෝගාත්මක ප්‍රයත්නයද ඔවුන්ගේ ප්‍රබල රංගනයන් නිසාම ජයගන්නට නිෂ්පාදන කණ්ඩායමට හැකි විය. මහත් කැපවීමකින් “යශෝධරා” රූපමය කාව්යයක් බවට පත් කිරීමට අධ්‍යක්ෂවරයා, කැමරා අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂවරයා, සංස්කාරකවරයා ගත් ප්‍රබල උත්සාහයද නිෂ්පාදක එච්.ඩී.ප්රේමසිරි මහතා අදත් ගෞරවනීයව අගය කරයි.

පල්ලවී සුභාෂ්, ඒ.චෞද්රී, දිනෙත් ද සිල්වා, සනීතා තෙදානි, අජිත් වීරසිංහ, උදාරි පෙරේරා, හේෂාන් මංජුල, කමල් දේශප්රිය, තුමිඳු දොඩම්තැන්න, විල්සන් ගුණරත්න, රුචී ලක්මාලි ඇතුලු රංගන ශිල්පීන්ගේ ප්‍රබල දායකත්වයද, චන්න දේශප්රිය (කැමරා අධ්‍යක්ෂණය), බිමල් දුෂ්මන්ත (කලා අධ්‍යක්ෂණය), රුක්මාල් නිරෝෂ් (සංස්කරණය), රෝහණ වීරසිංහ (සංගීත අධ්‍යක්ෂණය), චන්දන වික්රමසිංහ (නැටුම් අධ්‍යක්ෂණය), තිලිණි හෙට්ටිගේ (වස්ත්රාභරණ) ඇතුලු ශිල්පීන් ගණනාවකගේ ප්‍රතිභාවයද “යශෝධරා” චිත්‍රපට සමග ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ බෞද්ධ සිනමා රූප කාව්යයක් සඳහා ලබාදුන් විශිෂ්ට දායකත්වයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

බෞද්ධ සාහිත්යයේ එන ශ්රේෂ්ඨතම කාන්තා රත්නය වූ යශෝධරා චරිතය කේන්ද්ර කරගත් සිදුහත් පුවත ප්‍රේෂක ඔබගේ ද පහන් සංවේගය පිණිස වූයේ නම් එයින් අප ලබාගන්නේ අප්‍රමාණ අස්වැසිල්ලක් බව නිෂ්පාදකවරයාගේ පැතුම විය. එය එසේම වූ බව “යශෝධරා” චිත්‍රපට නැරඹූ ලක්ෂ ගණනක් වූ මෙරට ප්‍රේෂකයෝ ඔප්පුකොට සිටිය බැව් පැහැදිලි ය.