අප හැමෝම දන්නා කාලෙක සිට චිත්‍රපට නරඹන්නේ සිතට විවේකයක් රසවිඳීමක් ලබාගන්නයි. පැහැදිලිවම කීවොත් “විනෝද වෙන්නයි”. ඕනෑම චිත්‍රපට නරඹන්නෙකුගේ මූලික අරමුණ එයයි.

ඒත් එක් එක් චිත්‍රපට රසිකයින්ගේ විනෝදය ලබාගැනීමේ ක්‍රමයයි , සිනමා රසයයි හරිම වෙනස්. සමහර අය “ආදරණීය” චිත්‍රපට වලට කැමතියි. තවත් සමහර ප්‍රේක්ෂකයෙක් වේගවත් ක්‍රියාදාම වලින් යිතු සටන් සහිත චිත්‍රපට කතා වලටයි ආසා කරන්නේ. තවත් අය තරමක් නාට්‍යමය සමාජ කතාන්දර වලින් රසයක් විනෝදයක් ලබනවා. තවත් නරඹන්නන් කොටසක් ඉවරයක් නොවෙන කුතුහලය සහිත චිත්‍රපට කථා සොයනවා. ඒ අතරේ තවත් සමහරු සිරුර සීතල වෙන භීතියෙන් හිත ගැස්සෙන භයංකර චිත්‍රපට වලට පුදුම ආසාවක් දක්වනවා. ඇතැම් අය මේ හැම රසයම මුසුවුන චිත්‍රපට වලටයි කැමති වෙන්නේ. ඒ කෙසේ වුනත් චිත්‍රපටයක් නරඹනවා කියන්නේ හිතට වදින හිත වින්දනයෙන් සහ හැඟීම් වලින් පිරෙන සුන්දර අත්දැකීමක්. සිනමා ශාලාවකදී වගේම ඩී.වී.ඩී මගින් හෝ නැත්නම් අන්තර්ජාලය මගින් හෝ නරඹා වින්දනය කළ හැකි මේ අලුත් චිත්‍රපට කිහිපය ගැන දැනුවත් වෙන එක ඔබට ඔබේ වින්දනයට වැදගත් වේවි.

“රාසි” ඉතා මෑතකදී ප්‍රදර්ශණය ඇරඹුනු හින්දි චිත්‍රපටයක්. රාසි චිත්‍රපටයට පසුබිම් වුනේ ජනප්‍රිය ඉන්දීය ලේඛකයෙක් වුනු “හරීන්දර් සික්කා” ගේ “සෙහ්මත්” නම් නවකථාවයි. මේ නවකථාවේ අනුවර්තනයක් හැටියටයි, “රාසි” චිත්‍රපටයේ තිර රචනාව ලියා තිබෙන්නේ  මේ චිත්‍රපටයේ කථාව දිවෙන්නේ කාශ්මීරයේ ඉන්දියානු රහස් ඔත්තුකාරියක් ලෙස හොර රහසේ කටයුතු කළ තරුණියක්, පකිස්ථාන පවුලක ධනවත් හමුදා නිලධාරියකු සමඟ විවාහවීම නිසා ඔවුන් දෙදෙනාත් , ඔවුන්ගේ පවුල්වල අයත් මුහුනදෙන ගැටුම් හා බිහිසුනු වාතාවරණය මැදයි. මේ චිත්‍රපටය 1971 ඉන්දු පකිස්ථාන් යුද්ධය සමයේ කියවෙන කතාවක් වුවත් මෙහි දැවැන්ත ත්‍රාසජනක දර්ශණ හෝ වෙඩි තැබීම් වැනි දේ ඉස්මතු කරන්නේ නැහැ. ඒ වෙනුවට තම රට වෙනුවෙන් ඔත්තුකාරියක් බවට පත්වූ අවිහිංසක තරුනියකගේ හැඟීම්, මානසික ගැටුම් හා ඇය මුහුණ දෙන බිය ජනක පරිසරය ඉතාම කුතුහලය පිරි හා නාට්‍යමය අයුරින් මතු කිරීමටයි, අධ්‍යක්ෂක වරිය වන “මෙග්නා ගුල්සාර්” ගේ උත්සාහය වී තිබෙන්නේ. මෑත කාලීන බොලිවුඩ් සිනමාවේ දක්ෂතම නව යොවුන් නිළියක වන “ආලියා භාත්”, “රාසි” චිත්‍රපටයේ සියුම් රංගනයක් ගෙන එන බව ඉන්දීය සිනමා විචාරකයින් හා පුවත්පත් ප්‍රකාශකර තිබෙනවා. නව හින්දි සිනමාවේ තවත් ප්‍රවීන හා නව රංගන ශිල්පීන් ලෙස ජන ප්‍රසාදය දිනූ “විකී කවුෂාල්, රාජිත් කපූර්, අසිෆ් සකාරියා, ජායිද්ප් ආවලාත් ආදීන් මෙහි රංගනයට එක්වෙනවා. ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක “කරන් ජොහාර්” මෙහි නිෂ්පාදක වරයායි.

හියර්ඩිටරි (2018)

පසුගිය ජූනි 15 දා ලෝකය පුරා ප්‍රදර්ශනයට මුදා හැරුණු “හියඩිටරි”, ඉතාම බියජනක අත්දැකීමක් ගෙන එන භීම චිත්‍රපටයක්. භයංකාර චිත්‍රපට නරඹන සිනමා රසිකයින්ට ආකර්ශණයක් විය හැකි “හියර්ඩිටරි” වලින් කියවැන්නේ පාරම් පරික මුතුන් මිත්තන් මගින් වර්තමානය දක්වා එන පාපකාරී භයානක ඉරණම ගැනයි.

ග්‍රැහැම් පවුලේ මුල් මිත්තනිය මිය යාමෙන් පසු ඇගේ දියනිය හා පවුලේ පිරිස තම මුතුන් මිත්තන්ගේ පරපුර පිළිබඳ සිත වෙව්ලායන ආකාරයේ රහස් තොරතුරු හෙලිදරව් කරගන්නවා. ඒ රහස් දැනගැනීම කෙමෙන් වේගවත් වෙද්දී ඔවුන් සියළුම දෙනා නොදැනුවත්වම බිහිසුනු මරණීය ඉරණමකට ගොදුරු වන බවයි චිත්‍රපටියෙන් කියවෙන්නේ. මේ බිහිසුනු අත්දැකීම සිනමා තිරයට ගේන ආවේ “අරි ඇස්ටර්” නම් නවතම අධ්‍යක්ෂක වරයායි. “ගේබ්‍රියල්  බයරන්, ටෝනි කොලට්, ඇලෙක්ස් වුල්ෆ්, ඈන් ඩේවිඩ්, ඔස්ටින් ග්‍රාට්” ඇතුළු රංගන ශිල්පීන් මීට රංගනයෙන් සම්බන්ධ වෙනවා.

මේ චිත්‍රපටය ගැන ඇතැම් විචාරකයි හා වෙබ් අඩෙවි පවසන්නේ වසර දෙක තුනක් ඇතුලත දුටු වඩාත් බියජනකම චිත්‍රපටය මෙය බවයි. එසේම ඉතාම තියුනු සිනමාරූපී බවකුත් සිත තිගැස්මකට ලක් කරන ශබ්ද හා සංගීත පටියකුත් රැගත් “හියඩිටරි”, 21 වන සියවසේ අලුත් පරපුරේ එක්සෝසිස්ට් චිත්‍රපටය බවයි ,එක් විචාරකයේකුගේ මත දැක්වීම වනුයේ.

කාලා (2018 – දෙමළ )

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි වීරයා ලෙස සැලකෙන “රාජිනී කාන්ත්” ගේ අලුත්ම චිත්‍රපටය “කාලා”. ඔහුගේ මුල් චිත්‍රපට වල වගේම මෙහිදීත් ඔහු ජනතාවගේ වීරයෙක් ලෙස සටන් වදින ස්වරූපය මතුවන ලෙස චිත්‍රපටය ගොඩනංවා තිබෙනවා. “තිරුණවෙල්ලී” ප්‍රදේශයේ මැර නායකයෙක් ලෙස මතුවන “කාලා” ධාරාවී නගරයේ රජෙකු ලෙස දිවි ගෙවයි. ප්‍රදේශයේ ඉඩම් මහා පරිමානයෙන් කොල්ල කෑමට සැලකෙන දැවැන්ත දේශපාලඥයින් හා ඉඩම් මාෆියාවේ නායකයින් සමග කාලා බිහිසුනු සටනකට එලඹෙන්නේ ඒවා බේරාගෙන දුගී පොදු ජනයාට නැවත ලබාදීමටයි. මේ කතන්දරය ඇතුලත කාලාගේ චරිතය ඔස්සේ රාජීනී කාන්ත්ගේ වීරත්වයත් ජනහිතකාමී දේශපාලනයක් ඉහළට ගෙන යනවා.

මීට පෙර රැජිණිගේ “කබාලි” චිත්‍රපටය නිර්මාණය කල  පා.රංජිත් මේ චිත්‍රපටයේද අධ්‍යක්ෂක වරයායි. දෙමළ සිනමාවේ සුපිරි ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙකු ලෙස ගැනෙන රංජිත් වීරත්වය ඔසවාලන විනෝදාත්මක චිත්‍රපට තනන්නට මනා හැකියාවක් පෙන්වනවා. දෙමළ සිනමාවේ සුපිරි වීරයා රාජිනි කාන්ත්ට අමතරව “නානා පටේකාර් , හුමා කුරේශි, අංජලී පටේල්, ස්වාරි රාඕ” ඇතුලු රංගන ශිල්පීන් පිරිසක් ප්‍රධාන චරිත වලට එක් වෙනවා.

සන්ජු

ජූනි 29 වෙනිදා පටන් ලෝකයේ රටවල් කීපයකත් ඉන්දියාව පුරාත් ප්‍රදර්ශනය වන “සන්ජු” ඉන්දීය ජනප්‍රියම නළුවෙකු සේ තවමත් සැලකෙන “සංජය දත්” ගේ ජීවිත කතාව රැගත් චරිතා ප්‍රදාන චිත්‍රපටයක් මුලු මහත් ඉන්දියාව පුරාම පැතිරී ගිය නමක් හිමි සංජය දත් ගේ ජීවිතය ඉතාම ආන්දේලනාත්මක ගැටුම් පිරි ජීවිතයක්. “සන්ජු” චිත්‍රපටය සංජය දත් ගේ මෙන්ම ඔහුගේ මව පිය දෙපල වන , සුනිල් දත් හා නර්ගීස් ගේ චරිත ද එකල තවත් ජනප්‍රිය නලු නිලියන්ගේ සැබෑ චරිතද මෙම චිත්‍රපටයට ඇතුලත්.

ප්‍රවීන බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ වරයකු වන “රාජ් කුමාර් හිරානි” නිර්මානය කල “සන්ජු” චිත්‍රපටයේ තිර රචනය ලියා ඇත්තේ “රාජ් කුමාර්” සමග “අභිජාන් ජෝසි” විසිනි. මෙහි සුවිශේෂී ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ නව බොලිවුඩ් සිනමාවේ තවත් ජනප්‍රිය තරුවක් වන “රන්බීර් කපූර්” විසිනි. ඊට අමතරව පරේෂ් රචාල්, සෝනම් කපූර්, මනීශා කොයිරාල, තාබු , අනුෂ්කා ශර්මා, විකී කවුශාල්, ඩියා මිශ්‍රා වැනි විවිද යුග වලට අයත් ජනප්‍රියතම නළු නිළි පිරිසක් “සන්ජු” චිත්‍රපටයට දායක වෙනවා. චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නට මාස කීපයකට පෙර සිටම මේ චිත්‍රපටය සිනමා ලෝලීන් හා චිත්‍රපට විචාරකයින් අතර අද අවධානයට ලක්වූ බවත් සැබෑවක්.

Jurassic World  Fallen kingdom (2018)

පසුගිය ජූනි 5 වන දා ප්‍රදර්ශනයට මුදා හැරුණු විශේෂම චිත්‍රපටයක් දැන් ඔබ ඉදිරියේ තිරගත වනවා. ඒ “ජුරාසික් වර්ල්ඩ් ෆෝලන් කින්ග්ඩම්” චිත්‍රපටයයි. හොලිවුඩ් සිනමාවේ දැවැන්ත සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් අතින් මුලින්ම ඇරඹුනු ජුරාසික් චිත්‍රපට මාලාවේ පස් වැන්න වන්නේ මේ චිත්‍රපටයයි. එහෙත් මේ ජුරාසික් වර්ල්ඩ් නවතම චිත්‍රපටය නම් ස්පිල්බර්ග් ගේ අධ්‍යක්ෂනයක් නොවේ, මෙහි අධ්‍යක්ෂ වරයා සිනමාවට නවකයෙක්. ඔහු ජේ.ඒ.බෙයොන්.

ජුරාසික් වර්ල්ඩ් අවසන් චිත්‍රපටයේ අත්දැකීමට වසර 3කට පසු විනාස වූ ජුරාසික් උද්‍යානයේ ඉතිරිව සිටින ඩයිනෝසරයින් බේරාගැනීමට මරණීය මෙහෙයුමකට එක්වන යුවලක් වටා දිවෙන “ජුරාසික් වර්ල්ඩ් ෆෝලන් කින්ඩම්” චිත්‍රපටයේ “ක්‍රිස් පැට්, බ්‍රයිස් ඩලාස්, ජෙෆ් ගෝල්ඩ්බ්ලම්, ටෝබි ජෝන්ස්, බී.ඩී.වොන්ග්, ජෙරල්ඩ්ඩීන් චැප්ලින් වැනි ජනප්‍රිය හා ප්‍රවීන රංගන ශිල්පීන් ගණනාවක් සමග නව පරිගණක තාක්ෂනයෙන් හා සජීවී කරන මගින් මෙහෙයවුනු ඩයිනෝසර් සතුන් ගණනාවක්ම රංගනයට පෙනී සිටිනවා. දැන් එය ආදායම් වාර්තා බිඳ හෙලන චිත්‍රපටයක්.