කිඳුරු කොදෙව්වේ මුතුපායේ හැන්ගෙමු අපි දෙන්නා…

කිඳුරු කොදෙව්වේ මුතුපායේ හැන්ගෙමු අපි දෙන්නා
හැම ගීතයක්ම කවියක් නොවෙනවා සේම හැම කවියක්ම ගීතයක් නෙමෙයි කියලා ඔබ අහල ඇති. ඒ වගේමයි හැම ආදරයක්ම කවියක් වගේ සුන්දර නැහැ. කවියක් වගේ සුන්දර ආදර කථා නැත්තෙත් නැහැ. මේ රහස් පරීක්ෂක කතාවක් අස්සේ හැංගුණු ආදර කතාවක්. කතාවක් කිව්වට මේක චිත්‍රපටයක්. චූඩා මාණික්‍ය චිත්‍රපටය තිරගත වුනේ 1979. ඒ චිත්‍රපටයට ඇතුළත් වුණ වික්ටර් රත්නායක ගයන, අජන්තා රණසිංහ රචනා කළ, සරත් දසනායක සංගීතවත් කළ මේ ගීතය ඔබට මතකද?

 

මල් ලියකම් ඇඳි පෙම් සිතුවම් රැඳී
ආදර විජිනි පතින් කවුදෝ
සිහිල් පවන් හමනා…

ආදරය ගතට සිතට සිසිල සදන සිහිල් පවනක් වෙන්න පුළුවන් වගේම චණ්ඩ මාරුතයක් වෙන්නත් පුළුවන්. ආදරය චණ්ඩ මාරුතයක් වෙන්නේ නොගැලපෙන අය මුණගැහුනම. හැබැයි ලෝකේ 99% කට තමන් කැමති කෙනා ලැඛෙන්නේ නෑ කියල මම අහල තියෙන්නේ. ඉතුරු 1% ට තමන් කැමති කෙනා ලැඛෙනවා. එත් 0.01% කට විතරයිලූ තමන් කැමති කෙනා වගේම තමන් කැමති ආදරයත් ලැඛෙන්නේ. කෙටියෙන්ම කියනවනම් සංසාරේ ප්‍රර්ථනා කරපු කෙනාව වෙන්න ඇති ඒ ලැඛෙන්නේ. මීට අවුරුදු ලක්ෂ ගානකට කලින් ගැහැණු පිරිමි ජීවත්වුනේ එකම කාසියක දෙපැත්ත වගේලූ. ඒත් අකුණු ගහලා ලෝක විනාශයක් වෙලා ඒ අය වෙන් වුනාලූ.
එදා ඒ වෙන්වුන කෙනා තමයිලූ අපි තාම හොයන්නේ. ඒ කෙනා මුණගැහුනොත් මුවින් වචන පිටවෙන්න කලින් ඇස් කතාකරයි නේද?

කියාගන්න බැරි නුහුරු හැගුම්
ඔබේ නුවන් පුරා ඇදෙනා

දන්නවද කියාගන්න බැරි දේවල් ඇස් වලින් කියන්න පුළුවන් මිනිසාට විතරයි. පරිණාමයේදී ඇසේ සුදු පාට කොටස ඇතිවුනේ අදහස් හුවමාරු කරගන්න. ආදරය කිරීමේ ප්‍රධාන ඉඟිය ලැඛෙන්නෙත් ඇස් වලින්. කියාගන්න බැරි දහසකුත් එකක් හැගීම් එක බැල්මක තියෙනවා. එහෙම නේද?

ඔච්චම් කර මල් කුමර කුමරියෝ
අප වට කර හිනැහෙන්නා
කිඳුරු කොදෙව්වේ මුතුපායේ
හැන්ගෙමු අපි දෙන්නා…

ගහක දළු හටගන්නේ ස්වාභාවිකව. ගහක මල් හටගන්නේ ස්වභාවිකව. ඒ වගේම හිතකට ආදරේ දැනෙන්නේ ස්වාභාවිකව. ඒ ආදරේ මිහිර විඳින්න මේ ලෝකයෙන් වසන්වෙන්නම වෙයි පෙම්වතුන්ට. ප්‍රේමයේ මිහිර විඳින්න, ආදරේ කරන්න. හැබැයි ආපහු ගන්න බලන් ආදරේ කරන්න එපා. මතක තියාගන්න ආදරේ දෙන්න පුළුවන් දෙයක් මිසක් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.

රත්තරනින් සැදී කේතකි මං පෙත්
අත්වැල් බැඳ යමු රත්තරනේ
පිච්ච මලින් පිරි ලෝකය අපටයි
ස්වප්න පාරාදීසේ සුරංගනාවියනේ
ආදරය හරියට හඳ වගේ කියනවා. සෞම්‍යයි. සුන්දරයි. දීප්තිමත් . හැබැයි ආදරේ සමහරුන්ට පුර හඳක්. සමහරුන්ට අඩ සඳක්. තවත් කෙනෙකුට කළු වළාකුලෙන් වැසී ගිය සඳක්. පිච්ච මලින් පිරි ලෝකයක අත්වැල් බැඳගෙන ඇවිද යන්න. ලෝභ සිතින් තොරව ආදරය පුදන්න. පෙරලා ලබන්නට නොසිතා.