ලක්සිරි වික්‍රමගේ ගොඩක් දෙනෙක් දන්නේ දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති හැටියට. ඇත්තටම ඔබ වෘත්තීයෙන් කවුද ?
මගේ වෘත්තීය අලෙවි කළමනාකරණය. ඒ කියන්නේ Markting.

Markting කියන්නේ ඇගේ තිබුන හැකියාව ද ?
නැහැ. මගේ බලපොරොත්තුව සහ පොඩි කාලේ ඉඳන් ආසාව උවමනාව තිබ්බේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න.

චිත්‍රපට ගැන උනන්දුව ඇති වුණේ කොහොම ද ?
මම පාසල් ගිය කාලේ වැඩිපුරම ගත කළේ බෝඩිමේ. ත්‍රිත්ව විද්‍යාලේ බෝඩිමේ ඉන්න කාලේ හොරෙන් ගිහින් චිත්‍රපට බලපු අවස්ථා ඕන තරම් ඇති. පාසල ළගම තිබුණා සිනමා ශාලාවක්. ඕකට දවස් දෙක තුනකට වරක් අලූත් චිත්‍රපටියක් එනවා. ඒ කාලේ තිබ්බේ රෑ 9.30 දර්ශනය.

එහෙම හොරෙන් ගිහින් Film බලලා දඩුවම් ලබපු අවස්ථා එහෙම නැද්ද?
මට නම් එහෙම අවස්ථාවක් නැහැ. ඒත් එක අවස්ථාවක මගේ යාළුවෙක් අහුවෙන්න ගිහින් මාස්ටර් එනකොට සරම ඇදගෙන හිගන්නෙක් වගේ නිදාගෙන හිටියා කියලා කථාවක් නම් තියෙනවා.

ඔබේ මුල්ම රැකියාව?
A /L වලින් පස්සේ මම ඉස්සෙල්ලම රැකියාවකට එන්නේ ක්ෂේත්‍ර අලෙවි නිලධාරියෙක් හැටියට. ඊට පස්සේ අලෙවිකරණය ඉගෙන ගත්තා. ඒ සමාගමේ අලෙවි කළමණාකරු ලෙස උසස්වීම් ලැබුවා. ඊට පසුව මම අලියා බීම සමාගමට එකතුවෙලා එහි සන්නාම කළමණාකරු හැටියට පත්වෙලා එහි විධායක අධ්‍යක්ෂවරයෙක් දක්වා ඉදිරියට ආවා.

සිසිල් බීම වෙළෙඳපොළේ වෙනසක් කරපු කෙනෙක් ඔබ ? 
ඒ වෙද්දී අලියා බීම අලෙවි වුනේ ඉතා අඩුවෙන්. ඒ අවමංගල්‍ය උත්සවවලදී වගේ. වෙළෙඳපොළේ සියයට 20ක් විකිණුන අලියා බීම මගේ අලෙවිකරණ දැනුම යොදාගෙන පුළුවන් වුණා රටේ වැඩිම අලෙවිවන සිසිල් බීම බවට පත් කරගන්න.

දෙරණට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි ? 
දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම කියන්නේ රට ගැන හැගීමක් තිබ්බ ආයෝජකයින් දෙදෙනෙක් ඉතින් ඒ වගේ දෙදෙනෙක් එක්ක වැඩ කරන්න තිබ්බ කැමැත්ත සහ දෙරණ කියන්නේ මගේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වීමේ ආසාවට සමීප වෙන්න පුළුවන් තැනක් වීම.

ඔබ දෙරණේ ආරම්භක සාමාජිකයෙක් ද? 
දෙරණ පටන් අරන් අවුරුද්දකට පස්සේ තමයි මම සම්බන්ධ වෙන්නේ.

චිත්‍රපට ගැන ඔබ හැදෑරීමක් කරලා තියෙනව ද ?
ඔව්. මම 2010 දී ඕස්ට්‍රේලියවේ මෙල්බන් විශ්ව විද්‍යාලයට ගිහින් චිත්‍රපට කර්මාන්තය ගැන හැදෑරීමක් කළා.

තවමත් ඒ සිහිනය ප්‍රමාද ද ?
ඔව්. තවම මට චිත්‍රපටයක් හදන්න නම් ලැබුණේ නැහැ. හැබැයි ඒ සිහිනයත් කොහොම හරි ඉටු කර ගන්න ඕන.

ඔබේ දැන් එකම බලාපොරොත්තුව චිත්‍රපට අධ්‍යක්‍ෂණය කිරීම ද?
ඔව්. මගේ ප්‍රකාශන මාධ්‍ය හැටියට තෝරාගෙන ඉන්නේ චිත්‍රපට මාධ්‍ය. ඉතින් කවදා හරි මම චිත්‍රපටයක් හදනවා.

ඒ කියන්නේ අනාගතයේ දී වෘත්තීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙයි ද?
නැහැ. වෘත්තීය චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න මට අවශ්‍ය නැහැ.

විවේකයක් ලැබුනහම එහෙම මොකද කරන්නේ?
ගෙදර අය එක්ක trip එකක් යනවා. තව යාළුවෝ එක්ක කැලේ ඇවිදින්න යනවා. අපේ ඉන්නවා එහෙම කැලේ යන යාළුවෝ ටිකක්. ඉතින් ඔයවගේ දේවල් තමයි කරන්නේ.

දෙරණ සමඟ ඉදිරිය ගැන කොහොමද හිතලා තියෙන්නේ?
දෙරණ කියන්නේ අවම සම්පත්වලින් පටන්ගත්ත ආයතනයක්. දෙරණ කණ්ඩායමේ කැපවීම නිසා දෙරණ ගොඩක් ඉදිරියට අවා. ඉතින් ඒ කණ්ඩායම එක්ක තව ඉදිරියට යන එක තමයි බලාපොරොත්තුව.

අද ඉන්න තැනට එන්න සහ ආපු ගමනේ සාර්ථකත්වයට හේතු ? 
මේ වගේ ක්ෂේත්‍රයක ඉදිරියට එන්න මගේ කලාවට තිබුණ ලැදියාව හේතුවක් වෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේ දේවල් යම් වාසියක් වෙන්න පුළුවන් මේ වගේ වැඩවලදී.

ජීවිතය ගැන තෘප්තිමත් ද?
අනිවාර්යෙන්ම. මගේ ජීවිතය ගැන මම තෘප්තිමත් .