කොහොමද මේ දවස්වල ජීවිතේ?
කාලය ගතවෙනවා. ජීවිතේ හොඳයි වරදක් නැහැ.

මේ අවුරුද්දේ ඔබ රගපෑ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන් ද ?
මේ වසරේ මුල් කාර්තුවේ තිරගත වීමට නියමිතව තියෙනවා උදයකාන්ත වර්ණසූරියගේ බන්ධන චිත්‍රපටය. මම විශ්වාස කරනවා එය ප්‍රේක්ෂකයින්ට නැවුම් අද්දැකීමක් වෙයි කියලා.

අපි කතා කළොත් බන්ධන චිත්‍රපටය ගැන?
එක පර්යේෂණාත්මක කෘතියක් කීවොත් මා නිවැරදියි. අපිට මග හැරුණු කළු සුදු චිත්‍රපටයක් විදියට තමා මෙය අපට සමීප වෙන්නේ. ඒ වගේම ඒක HORROR චිත්‍රපට ගණයට
ගැනෙන චිත්‍රපටක්. මා විශ්වාස කරන ආකාරයට මෙය ලාංකීය ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීපවන්නේ සාම්ප්‍රදායක බලි තොවිල් ආශ්‍රයෙන් නිර්මාණය වුණු චිත්‍රපටයක් නිසා.

රංගනයේ දී ඔබට සීමා මායිම් තියනවද?
මම විශ්වාස කරනවා රංගන ශිල්පියෙක් විදියට මට කරන්න පුළුවන් සීමාවට වඩා, ප්‍රේක්ෂකයින්ට බලන්න පුළුවන් සීමාව තෙක් රංගනයේ යෙදෙන්න. එයයි මගේ සීමාව.

පසුගිය වසර තුළ පැවති හැම සම්මාන උළෙලකදීම සම්මාන ඔබට සම්මාන ලැබුණා.මොකද ඒ ගැන හිතෙන්නේ?
රංගන ශිල්පියෙකුගේ ජීවිතේ ලැඛෙන වාසනාවන්ත අවධියක් හැටියට මා එය දකිනවා.

ගිය වසර තුළ පමණක් සම්මාන කීයක් ලැබුණා ද?
සම්මාන 6 ක්. සිනමා මාධ්‍යය වෙනුවෙන් සම්මාන 5 කුත් මා රංගනයෙන් එක්වුණු එකම ටෙලි නාට්‍ය වෙනුවෙන් තවත් සම්මානයකුත් වශයෙන්. නමුත් මා සම්මාන බලා පොරොත්තුවෙන් රංගනයේ යෙදෙන ශිල්පියෙක් නෙවෙයි.

ඒ අතර ඔබට වඩා වැදගත් සම්මානය මොකක් ද?
මට ලැබුණු සම්මාන සියල්ල විද්වත් ජූරිය විසින් සහ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත මත ලැබුණු සම්මාන. ඒ සියල්ල එකසේ මා වගකීමෙන් ආදරයෙන් සහ ගෞරවයෙන් භාර ගන්නවා.

ඔබ ජනප්‍රියත්වය දකින්නේ කොහොමද?
ජනප්‍රියයි කියන්නේ ජනයාට ප්‍රිය වීම කියන එක. එවැනි ජනයාට ප්‍රිය වන කෙනෙක් වීම ගැන  අවංකවම සතුටුයි.

ඔබ ජෝතිෂ්‍ය විශ්වාස කරනවාද?
බහුතරයක් මිනිස්සු විශ්වාස කරන්නේ ඇහැට පෙනෙන සීමාව ඇතුළේ තියෙන ඒවා පමණයි. පෞද්ගලික මා හට පෙනෙන සීමාවෙන් එහාට තියෙන නොදන්නා දේවල් ගැන එහෙම දෙයක් තිබේද නැද්ද කියන්න මා දන්නේ නැහැ. ඒ නිසා ජෝතිෂ්‍ය කියන දේ හරිද වැරදිද කියන්නත් මා දන්නේ නැහැ. ඉතින් නොදන්නා දෙයක් ගැන නිගමනයකට එන්න බැහැ. මා දකින්නේ අපි ජීවත්වන ස්වභාවධර්මයේ හරි වැරදි සියල්ල සාපේක්ෂතා ධර්මය ඇතුළත පවතින දෙයක් විදියට.

චරිතයක් භාර ගනිද්දී ඔබට වැදගත් මුදල් ද? චරිතයේ ගුණාත්මකභාවය ද?
වැදගත් චරිතයේ ගුණාත්මකභාවය. එහි දී මා අවධානය යොමු කරන්නේ මගේ ප්‍රේක්ෂකයින්ට මට පුළුවන් සීමාවේ හොඳම නිර්මාණ සමීප කරන්න. ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් ලබා ගන්න පුළුවන් නිර්මාණ සහ ඔවුන් තෘප්තිමත් වන නිර්මාණ කිරීමයි මගේ අධිෂ්ඨානය. මුදල් නොවැදගත්වනවා නොවෙයි. ඒ නිර්මාණයට ලබාදෙන දායකත්වයට සාධාරණ මුදලක් රංගන ශිල්පීන්ට අවශ්‍යයි. 

ආදරය දකින්නේ කොහොමද?
මොන කාල පරාසයක ජීවත් වුණත් ආදරය කියන දේ ආගන්තුක වෙන්නේ නැහැ කවමදාකවත් ජීවිතයට. 

දැන් එහෙම ආදරයක් තියෙනවා ද?
නැහැ. මට දැනෙන ආදරයක් ලැබුණුදාට මා ආදරය කරාවි.

එතකොට හේමාල් රණසිංහ කියන්නේ මොන වගේ කෙනෙක්ද?
මගේ පෞද්ගලිකත්වය තුළ නිශ්ශබ්දව ඉන්න කැමති කෙනෙක්. මගෙන් කාටත් වැරද්දක් කරදරයක් නොවන විදියට ජීවත්වෙන්න සහ කාගෙන්වත් මටත් කරදරයක් නොවන විදියට ජීවත්වෙන්න මම කැමැතියි.

අනාගත බලාපොරොත්තු?
මගේ උපන් රටට සහ මට ආදරය කරන ප්‍රේක්ෂයින්ට මගෙන් වෙන්න පුළුවන් උපරිම සේවය ඉටු කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.