නිකොලොයි ගොගොල්ගේ හිම කබායෙන් රුසියානු සාහිත්‍ය නිර්මාණය වුණා වගේම, ලෙස්ටර්ගේ රේඛාවෙන් ලංකාවේ සිනමාව නිර්මාණය වුණා. මෙහෙම කිව්වේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම.

ඒ වදන්වලින්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ අපේ රටේ සිනමාව දෙකක් නොව එකක් බව පැහැදිලියි. ඔහු සිංහල සිනමාවේ පුරෝගාමී සලකුණ.
1947 දී කඩවුණු පොරොන්දුව ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස තිරගත වුනත්, අපේ රටේ සිනමාව අපේ කමින් හැඩ කරන්නේ ලෙස්ටර් මහතාගේ රේඛාවයි. එය අප රටේ සිනමාව චිත්‍රාගාරවලින් එළියට ගෙනා චිත්‍රපටයයි. දකුණු ඉන්දීය රිද්මයට සිනමාව සංගීතයෙ න් පුරවාලු යුගයක් අවසන් කළ චිත්‍රපටයයි. රේඛාව සිංහල චිත්‍රපට වංශ කතාවේ වෙනස දැක්වෙන රේඛාව වුයේ එහෙයිනි. එංගලන්තයේ සිට සෙලොලොකි නම් විනාඩි 12 ක් වූ කෙටි චිත්‍රපටය හරහා ආචාර්ය ලෙස්ටර් සිනමා ලෝකයත්, ලෝකය ලෙස්ටර්වත්, හඳුනාගන්නට මුල් අඩිතාලම දැමීය. සෙලොලොකි එංගලන්තයේ හොඳම කෙටි චිත්‍රපටය වුවත්, එයට ලැබුණු සම්මානය ලංකාවේ රේගුවෙන් රාජ සන්තක කර පසුව මුදල්වලට නිදහස් කරන ලදී. එය සිනමා කරුවෙකුගේ ජීවිතයට මොනතරම් අමිහිරි වන්නට ඇත්දැයි දන්නේ ආචාර්ය ලෙස්ටර්ම පමණකි. රේඛාවෙන් ඇරඹුන ලෙස්ටර්ගේ නිර්මාණ චාරිකාවේ ඊළගට මුණ ගැසෙන්නේ සංදේශයයි. එවකට අදාලව අධික පිරිවැයක් සහිතව නිමවූ මෙය, රේඛාවෙන් අහිමි වූ ජන ප්‍රසාදය සහ ආර්ථීක ප්‍රතිලාභ අත්පත්කර ගැනීමට සමත් වීම ආචාර්ය ලෙස්ටර් සිංහල සිනමාව සමඟ ඉදිරිය පෙළ ගසන්නට සමත් වුණාට කිසිම සැකයක් නැත.

 

ඔහුගේ සිනමාව පෙළින් පෙළට පෙළ ගසද්දී ”නිධානය”, ”අහසින් පොළොවට”, ”දෙලොවක් අතර” වැනි නිර්මාණ ඔහුගේ පමණක් නොව අපේ සිනමාවේ අදටත් පෙරමුණ ගන්නා නිර්මාණය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාවෙන් බිහිවූ ගම්පෙරළිය සිනමා නිර්මාණය බලා මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිනමාහලෙන් පිටව යන්නේ, මේ වුණේ කවර අරුමයක් දෝ පවසමිනි. ගම්පෙරළියේත් නිධානයේත් තිබුණේ අපේ ජන මූලයන්ය. අපේ සංස්කෘතියය. අපේ උරුමයන්ය. ආචාර්ය ලෙස්ටර් සිනමාවට තිලිණ කළ නිධානය එතෙක් මෙතෙක් සිහල සිනමාවේ බිහිවූ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකේ. අදටත් පොදු විචාරකයන්ගේ, සිනමා ලෝලීන්ගේ සහ නිර්මාණකරුවන් බොහෝ දෙනෙකුගේ පරමාදර්ශී නිර්මාණය වන්නේ නිධානයයි.

70 දශකයේදී බොහෝ සිනමාකරුවන් තම නිර්මාණ හරහා දේශපාලනය, සමාජීය කාරණා ගැඹුරු ලෙස සාකච්ඡා කරද්දී ආචාර්ය ලෙස්ටර් උත්සාහ කළේ මානව හිතවාදී සරල තේමාවන් හරහා සිනමා ප්‍රේක්ෂකයන්ට කතා කරන්නටය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලද එංගලන්තයේ සිනමාව හැදෑරූ ආචාර්ය ලෙස්ටර් ලාංකික ගැමියාත්, එහි සංස්කෘතියත්, කැමරා කාචයට හසුකරන්නේ අපුර්ව ශෛලියකටය. මේ ගෙවෙන්නේ ආචාර්ය ලෙස්ටර්ගේ සිනමා දිවියේ 67 වන වසරයි. 1919 අප්‍රේල් මාසයේ උපත ලද මේ මහා සිනමාවේදියාගේ මේ ගත වන්නෙ 97 වන ආයු කාලය යි. ලෙස්ටර් නම් සිනමාකරුවා මල්වර වන්නේ ගම්පෙරළියෙන් බව සිනමා කරුවන්ගේ මතයයි. එතරමටම ඔහු ඉක්මනින් සෞන්දර්යාත්මක නිර්මාණකරුවෙකු විය. ජාත්‍යන්තර සිනමා උළෙලවල් හිදී, ලැබුණු සම්මාන ආචාර්ය ලෙස්ටර් ගේ සිනමාවේ තරම දැනගන්නට මුල් යුගයේම ලැබුණ වටිනාම සහතික විය. ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ගම්පෙරළියත්, තෙවන කයිරෝ හිදී සම්මානනීය වන අහසින් පොළොවටත්, ඒ සඳහා හොඳම සාක්ෂි වන්නේය.

කලි යුගය, යුගාන්තය, ගොළු හදවත, අක්කර පහ වැනි චිත්‍රපට ඇතුළුව වෘතාන්ත නිර්මාණ 20ක් සහ කෙටි, වාර්තා චිත්‍රපට 10කට වැඩි ප්‍රමාණයක ඔහු අතින් නිම විය.
 ඔහු රටට අපේ සිනමාවක් හඳුන්වාදුන්නා පමණක් නොව, ඒ ඇසුරේ විවිධ චරිතාංග නළුවන්, නිළියන් කාර්මික ශිල්පින් රැසක් හඳුන්වාදීමට නොපැකිලව දායක විය. 
මුලින්ම අපේ රටේ සිනමාවේ සෞන්දර්යාත්මක බස හඳුනාගත්තෙත්, හඳුන් වා දුන්නෙත් ඔහුය. එය විවිධ නිර්මාණ හරහා තවත් රස පූර්ණ, අර්ථ පූර්ණ කරන්නට ඔහු පාර කීවේය. ඔහුගෙන් පසු පරම්පරාවේ නිර්මාණ අගය කළ යුතු තැන්හීදී අගය කරන්නට ඔහුට තිබු නිරහංකාර ආත්මශක්තිය විසල්ය. ඒ නිසාම ඔහු කාගේත් නිහඩ සිනමාවේ දිසාපාමොක් ය. බටහිර සිනමාව කියවන්නට පෙරාතුව, අපගේ සිනමාව කියවන්නට පුරුදු වූ කල්හි අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු ඇබ්බැහි කරවන සිනමාව බැහැර කර අධ්‍යයනය කරන සිනමාවට පාර පෙන්වාදුන් අපෙගේ ඉරබටු තරුවමය.