අතීත සිනමාවේ මතකයන් ගැනයි මේ සොඳුරු රංගවේදියා සමඟ කථාබහ.

මේ දවස්වල මොකද කරන්නේ?
පත්තර බලනවා, පොත් කියවනවා, ගෙදර වැඩට උදව් කරගෙන නිදහසේ ඉන්නවා.

අපි අහලා තියෙනවා ඔබ ආ මග අසීරු බව?
අපොයි ඔව්. මම තරුණ කාලෙදි ඇති තරම්කට්ට කෑවා. බඩගින්නේ හිටපු දවස් තමා වැඩි. පවුලෙ අය ගැන හිතලා කුලී වැඩ කළා. ඒ වගේ තවත් ගොඩක් කැපවීම් කළා. ඊට පස්සේ මම ව්‍යාපාරයක් පටන් ගත්ත. එතකොට මගේ අතේ තිබ්බේ රුපියල් තුන්සීයයි. ඇඳුම් මැසීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් තමයි පටන්ගත්තේ. ඒක බොහොම කැපවීමෙන් මම දියුණු කර ගත්තා. සෑහෙන පිරිසක් සේවය කළා. ආදායම් බදු ප්‍රශ්නෙකදි විනිසුරුතුමාගේ දරුණු වචනයකට ප්‍රතිචාර දක්වලා හිරෙත් ගියා. හිරේදි ලැබුණු අත්දැකීමුත් හරිම සුන්දරයි.

ඔබේ මුල්ම චිත්‍රපටය?
සුගතපාල සෙනරත් යාපා මහතාගේ හන්තානේ කතාව.

කොහොමද හන්තානේ කතාවට අවස්ථාව ලැඛෙන්නේ?
පතිරාජත්, මමත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගත්තේ එකම අවධියක. ඔහු මට වඩා වැඩිමහල් ඒත් අපි හොඳට හඳුනනවා. හන්තානේ කතාව චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ ඔහුගේ හඳුන්වාදීම අනුව.

අහස් ගව්වට සම්බන්ධ වෙන්නත් ඔය හැඳුනුම්කම හේතු වුණා ද?
ඔව්. එක හරි අපුරු සිදුවීමක්. මම කාලයක් නුවර මල්ලිකා ස්ටූඩියෝ එකේ වැඩ කළා. එහි දී කළමනාකරු විසි කරන්න කියල දුන්න පරණ නෙගටිව් පටි පාවිච්චි කරලා කෙටි චිත්‍රපටියක් හැදුවා. ඒ දවස්වල ධර්මසේන පතිරාජ, බර්ටි ගුණසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ ඉගෙන ගත්තේ. එයාල ඉතින් මගේ හොඳ යාළුවො. ඉතින් මම මේ කෙටි චිත්‍රපටිය පතිරාජට පෙන්නුවාම එයා මේක බලලා ඒ ගැන හරියට පැහැදුණා. ඊට පස්සේ පතීගෙ යෝජනාවක් අනුව ”අහස් ගව්ව” කරන්න පටන්ගත්තා. ඒකට මම මගේ හිතවත් ව්‍යාපාරිකයකු කැමැති කර ගත්තා. අහස් ගව්වේ තරුණයන්ගේ ජීවිතවල තියෙන්නේ අපේම ජීවිත.

කොහොම ද අහස් ගව්වට ලැබුණු ප්‍රතිචාර එහෙම?
ආදායම් වාර්තා නම් තිබ්ඛෙ නෑ. ඒ වුණාට තරුණ පරපුරේ ප්‍රශ්න තේමා කරගත්තු චිත්‍රපටියක් හැටියට විචාරක සහ රසික ප්‍රසාදය නම් උපරිමයෙන්ම දිනා ගත්තා. සම්මාන පවා ලැබුණා.

අහස් ගව්වෙ තේමා ගීතය තුළයි ඔබේ ජීවිතයෙයි තියෙන්නේ සමාන බවක් ද?
ඔව්. හැමවෙලාවෙම මට හිතෙන්නේ අහස් ගව්වෙ තේමා ගීතයෙන් කියැවෙන්නෙ මා ගැනම බව. මොකද ජීවිතය ගොඩනගා ගැනීමේ අවිනිශ්චිතකම, අධිෂ්ඨානය, මිත්‍රත්වය පිළිබඳ තමා එහි තිඛෙන්නේ. ඇත්තම කියනවා නම් ඒ තුළ තියෙන්නේ මනුස්සකම. ඒක තමයි මම කලාව විදියට දකින්නේ. මනුස්සකම නැති කලාව කලාවක් නොවෙයි. අපිට ඒ දවස්වල එකිනෙකා කෙරෙහි දැඩි ආදරයක්, බැඳීමක් තිබුණා. ඒ බැඳීම් අදටත් තිඛෙනවා. අද මම කලාව තුළ අඩුවෙන් දකින්නේ ඒ මනුස්සකම නැමති ගුණයයි. ඒකයි මේ කලාව පිරිහෙන්න පටන් අරන් තියෙන්නේ.

ඔබේ ඇඳුම, ගමන් විලාසය, තරුණ පරපුරට විශේෂ වුණා නේද ?
මම ඇන්දෙ එකම සූට් එකයි. එකට හේතුව සූට් කීපයක් අදින්න තරම් වත්කමක් අපිට තිබ්ඛෙ නෑ. එකම ඇඳුම ඇඳගෙන තමයි මම රගපෑවේ. ඒක ඒ චරිතෙට මනාව ගැළපුණා. 
ඒත් කිසියම් වෙනසක් ප්‍රේක්ෂකයන්ද කින්න ඇති. ඒ නිසා ඒ කාලේ තරුණයෝ මම වගේ අඳින්න උත්සහා කළා.

රගපෑ චිත්‍රපට අතරින් වැඩිම ප්‍රතිචාරයක් ලැබුණේ?
එහෙම කියන්න අමාරුයි. මොකද එකිනෙකට එකක් සාපේක්ෂ. එත් ”අපේක්ෂා” චිත්‍රපටය එහෙම සෑහෙන දෙනා අතරට ගියා.

”අපේක්ෂා” චිත්‍රපටය ඔබේ ජීවිතේ සංධිස්ථානයක් නේද ?
ඔව්. මම ඒකෙ සාම්ප්‍රදායික පෙම්වතා වුණේ නම් නැහැ. මම ඇන්දෙත් එකම ඇඳුම. ඒ වුණාට වැඩේ හිතුවට වඩා හොඳට ගියා. නොහිතපු තරම් චිත්‍රපටිය ජනප්‍රියත් වුණා. ඒ කාලේ අපේක්ෂා චිත්‍රපටය කීප වතාවක් බලපු අය මට මුණ ගැහුණා. ඒකෙ ජනප්‍රිය ප්‍රේම ගීත තිබුණා. ඒවා අදටත් මට ඇහෙනවා.

ඔබ සතු රංගන ශෛලිය ඔබ ගොඩනගා ගත්තේ කොහොමද?
මගේ රංගන ශෛලිය සකස් වුණේ විශ්ව විද්‍යාලයකින් හෝ පාඨමාලාවකින් හැදෑරීම් කරලා නම් නෙවෙයි. ජීවිත අත්දැකීම්වලින්. මට මගේ ජීවිතේ අත්දැකීම් සමුදායක් තියෙනවා. ඒ නිසා මට රගපෑමක් අවශ්‍ය වන්නේ නෑ. මම මා හැටියට ම ඉස්මතු වෙනවා හැරෙන්න.

වත්මන් සිනමාව ගැන මොකද හිතන්නේ?
සිංහල සිනමාව වර්තමානයේ පත්ව ඇති තත්ත්වය ගැන මම හරිම කණගාටුවෙනවා. අලූතින් හිතන පතන, අලූත් දේවල් කරන්න ආසාවෙන් ඉන්න දක්ෂ තරුණ පරම්පරාවක් සිනමාවට ඇවිත් ඉන්නවා. ඒ අයට මූල්‍යමය පහසුකම් ලබාදී නිර්මාණකරණයට අතහිත දීම කළ යුතුයි.

ඔබට ලැබුණ හොඳම සම්මානය?
ලේඛක හා විචාර සම්මානය.

ඔබේ කලා ජීවිතය ගැන ඔබ තෘප්තිමත් ද?
ඔව්. මම මගේ ජීවිතය ගැන වගේම කලාව ගැනත් තෘප්තිමත්.