ආලෝකෝ උදපාදී රජෙක් වටා ගෙතුන කථාවක් නොවෙයි

Chathra Weeraman

ඔබේ ප්‍රථම සිනමා නිර්මාණයට ඇයි ඔබ මේ වගේ පිටපතක් තොරා ගන්නේ ?
මේ චිත්‍රපටයේ පිටපත ලියන්නේ මගේ පියා, සමන් වීරමන්. ඒ වන විට ඔහු ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා ඊළග කරන චිත්‍රපටය පිලිබඳ හැදෑරීමක් කරමින් සිටියා. ඔහුට අවශ්‍ය වුනා ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ කතා තේමාවට ගැලපෙන නිර්මාණයක් කරන්න. ඒ අනුව තමයි ඔහු ආලෝකෝ උදපාදී තිර පිටපත ලියන්නේ. මට හිතුනා මේ පිටපත මට ලැබුණ හොඳ අවස්ථාවක් කියලා. ඒ නිසා මගේ පළමු නිර්මාණය විදියට මේක තෝර ගත්තා. අපේ රටේ ඉතිහාස කතා රැල්ලක් නිර්මාණය වෙලා තිබුණා.

ඇයි ඔබත් ඒ රැල්ලෙම නිර්මාණකරුවෙක් වෙන්නේ?
මේක රැල්ලට කරපු සිනමා නිර්මාණයක් නෙවෙයි. අපි වෙනම අරමුණකින් තමයි මේ නිර්මාණය කරන්නේ. මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂ භාරත හෙට්ටිආරච්චි සහ මම මේ පිටපත කියවන කොට අපි දෙදෙනාටම අවශ්‍ය වුණා මේ නිර්මාණය කරන්න. ඇත්තටම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න හිටියේ මගේ තාත්තා. නමුත් ඔහුටත් අවශ්‍ය වුණා අපිට ඒ අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ තුසිත විජේසේන . මේ ඔහුගේ පළමු නිෂ්පාදනය. ඔහුටත් අවශ්‍ය වුණේ බුදු දහම පසුබිම් කරගත් නිර්මාණයක් කරන්න. ඒ වගේම මෙතෙක් නිර්මාණය වුණු ඉතිහාස කතා රැල්ලෙන් මිදුණු නිර්මාණයක් බවට මේ නිර්මාණය පත් කරන්න ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසාම ඔහු අපි වගේ තරුණ කණ්ඩායමක් කෙරෙහි විශ්වාසය තියලා මේ නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය මුල්‍යමය පසුබිම හදලා දීලා සියලූ කටයුතු වෙනුවෙන් අවස්ථාව හදලා දුන්නා.

ඵෙතිහාසික චිත්‍රපටයක් නිර්මාණය කරනකොට මේ සඳහා යොදා ගන්නා තොරතුරුවල නිරවද්‍ය බව ඉතාමත් වැදගත් වෙනවා. ”ආලෝකෝ උදපාදී” චිත්‍රපටය සඳහා ඔබ මොනවගේ මුලාශ්‍රද භාවිතා කළේ?
සිනමා නිර්මාණයක් කියන්න එක්තරා කලා කෘතියක්. ඒ කලා කෘතිය ඇතුළේ පුද්ගල ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න ඉඩ කඩ තිබිය යුතුයි. උදාහරණයක් ලෙස බිතු සිතුවම් කියන්නේ කලා කෘතියක්. නමුත් ඒ සිතුවම් ඒ ආකාරයෙන්ම එදා තිබුණා කියලා කාටවත් සනාථ කරන්න බෑ. ඒ බිතු සිතුවම්වල තියෙන්නේ ඇත්තටම ඒ චිත්‍රශිල්පියාගේ imagination එක වෙන්න පුළුවන්. සිනමාව කියන්නෙත් එහෙම දෙයක්. ඒකත් පුද්ගල ප්‍රකාශනයක්. නමුත් සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් අපිට තියෙන සීමාවන් එක්ක අපේ ප්‍රේක්ෂකයා කොහොමද මේක දකින්නේ කියන එක ගැන අපිට අවබෝධයක් තිබිය යුතුයි.

වළගම්බා රජුගේ චරිතය සඳහා ඇයි ඔබ උද්ධික ප්‍රේමරත්න තෝරා ගන්නේ. මේ සඳහා චරිත තෝරා ගැනීමේදී ඔබ මොන වගේ කාරණා ගැනද සැලකිලිමත් වුණේ?
වළගම්බා රජුගේ චරිතය හඳුනාගත්ත විදියක් තියෙනවා . රෞද්‍ර පෙනුමක් තිබුණත් ඔහු ඇතුලාන්තෙයෙන් අධ්‍යාත්මික රජ කෙනෙක්. ඒ වගේම නිතරම සිංහාසනයේ රැදෙන්න අකමැති, නිතරම රට වැසියා සමග ඉන්න කැමති, නිතරම සංචාරය කරන්න කැමති චරිතයක්. මේ ලක්ෂණත් එක්ක අපිට චරිතය මවා ගන්න පුළුවන්. වළගම්බා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඇති කියලා. මීට අමතරව දිල්හානි අශෝකමාලා, නිරෝෂා තලගල, රොෂාන් රවීන්ද්‍ර, දර්ශන ධර්මරාජ් වැනි රංගන ශිල්පීන් තෝරා ගත්තෙත් මම කලින් කියපු චරිත ලක්ෂණ ගැන සැලකිලිමත් වෙලා.

චිත්‍රපටයේ රූපගත කිරීම සිදු කළේ මොන වගේ ප්‍රදේශවලද?
මෙහි වැඩිපුර රූපගත කිරීම් සිදුකරලා තියෙන්නේ අනුරපුරයේ . ඊට අමතරව තෙල්දෙණිය සහ කල්පිටිය කියන ප්‍රදේශවල. හරියටම දවස් 62 ක් අපි මේ කියන ප්‍රදේශවල රූපගත කිරීම් සිදුකළා.

ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කරන්නත් ඔබට මේ චිත්‍රපටය තුළින් අවස්ථාව උදා වුණා නේද?

International Film Festival of Goa සඳහා තමයි අපි පළමු වතාවට ආලෝකෝ උදපාදී චිත්‍රපටය ඉදිරිපත් කළේ. එහිදී අපේ චිත්‍රපටය world cinema category එකට තෝරා ගත්තා. ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. මේ නිසාම අපි ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ International Film Festival of Goa එක ඉන්දියාවේදීම තියන්න කටයුතු කළා. එහිදී අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා.

අපේ රටේ ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටය ආදරයෙන් වැළද ගනී කියල ඔබ විශ්වාස කරනවද?
ජනවාරි 20 දා සිට ප්‍රේක්ෂකයන්ගෙන් මේ චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ චිත්‍රපටය පිලිබඳ කැමැත්තක් මේ රටේ ප්‍රේක්ෂකයාට ඇති වෙයි කියලා අපි හිතනවා.
ඔවුන් මෙතෙක් නරඹපු ඉතිහාස කතා වලට වඩා වෙනස් ක්‍රමයකටයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙ න්නේ . වසර 2100 ට පමණ පෙර අපේ රටේ සමාජයීය , සංස්කෘතික සහ දේශපාලන පසුබිම ආලෝකෝ උදපාදී චිත්‍රපටය තුළින් දකින්න අපේ රටේ ප්‍රේක්ෂකයාට අවස්ථාවක් ලැබිලා තියෙනවා . ඉතින් මට විශ්වාසයක් තියෙනවා ඔවුන් ඒ අවස්ථාව මග නොහරියි කියලා.