මීට වසර කිහිපයකට පෙර “නිකිනි වැස්ස” ච්ත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේෂක විචාරක ප්‍රසාදයටත්, ඉහළ සම්මාන ගණනාවකටත් හිමිකම් කී ඔහු “අරුණ ජයවර්ධන” නම් සිනමාකරුයි. ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු තිර නාටක රචකයෙකු මෙන්ම ගීත රචකයෙකු ද ලෙස කාර්යබහුලය. එහෙත් ඒ සියල්ල මැද ඔහු සිය දෙවැනි ච්ත්‍රරපටයේ වැඩ ඇරඹූයේ මේ මෑතක ය. එය නමින් “1970: ලව් ස්ටෝරි” ය. ආදරය, සුන්දරත්වය මෙන්ම ඛේදය, භීතිය හා කුතුහලය පිරි අතීතය හා වර්තමානය එකට සම්බන්ධ කරන අපූරු කතා පුවතක් “1970: ලව් ස්ටෝරි” හා බැඳී ඇත.

70 දශකයේ මුල්ම භාගයේ තරුණ විවාහක යුවලක් අතරට පැමිණෙන තුන්වැන්නෙක් නිසා ඔවුන්ගේ සුන්දර ජීවිතය කඳුලක් බවට පත්ව විනාශයට ඇද වැටෙන්නේ ශෙරින් නම් විවාහක කාන්තාව වෙඩි වැදී මිය යාමෙනි. ඉන් වසර හතළිහකට පසුව ච්ත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මේ ඛේදජනක පෙම් පුවත ච්ත්‍රපටයක් ලෙස නිර්මාණය කරමින් රූපගත කරන්නට පෙළඹෙයි. රූපගත කිරීම් අතරතුර ඒ පැරණි බංගලාවේ බිහිසුණු ඛේදනීය සිදුවීම් වලට නැවත පණ එන බව පෙනීයන්නේ එදා වෙඩි වැදී මිය ගිය කාන්තාව ගේ ආත්මය තවමත් එහි සැරිසරන බැවිනි. ඉන්පසු ච්ත්‍රපට කණ්ඩායමට සිදුවන්නේ කුමක් ද? මේ භීතිය කුතුහලය පිරි කතා පුවත ප්‍රේෂකයින් ආකර්ශණය කරනු ඇත.

හේමාල් රණසිංහ, ගම්යා විජේදාස, බිමල් ජයකොඩි, මහේන්ද්ර පෙරේරා, අශාන් ඩයස්, සරත් කොතලාවල, සඳනි ප්රනාන්දු, සමන් හේමරත්න ඇතුලු රංගන ශිල්පීන් ගණනාවක් චරිත නිරූපණය කරන “1970: ලව් ස්ටෝරි” තිර රචනය හා අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන ගෙනි. චන්න දේශප්රිය සිනමා ඡායාරූප අධ්‍යක්ෂවණයෙන්ද, තිස්ස සුරේන්ද්ර සංස්කරණයෙන්ද, සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන්ද, තිලිණ රුහුණගේ සංගීත නිර්මාණයෙන්ද එක්වන මේ ච්ත්‍රපටය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයක් ලෙස නුදුරේම තිරගත වනු ඇත.