සටන්කාමී තරුවක ලලිත රිද්මය

හැට, හැත්තෑව සහ අසූව දශකවල අපේ ලාංකික සිනමාව හරිම විචිත්රයි. ඉතා සජීවි, ජවසම්පන්න සිනමා කර්මාන්තයකුත් සිනමා රසික සංස්කෘතියකුත් ඒ යුගයේ පැහැදිලිවම තිබුණා. විශේෂයෙන් සිනමාතරු හා තාරකාවන්, වීරයින්, දුෂ්ටයින්, අහිංසක පෙම්වතියන්, සහායක විකට චරිත පමණක් නොව චිත්‍රපට ගායක ගායිකාවන් හා සංගීතඥයින් පවා එදා ප්‍රේශකයින්ගේ සිත්සතන් වල ජීවත්වූණා. මේ සිනමා තරු හා වීරයින් අපේ ප්‍රේශක සිතේ පුදුම ආකර්ශණීය සිහින මවන්නට සමත් වුණා. එදා සිනමාවේ වීරයින් හා පෙම්වතුන් ලෙස අතිශයින් ජනප්‍රිය වූ ගාමිණී, විජය, තිස්ස, විජේසුරේන්ද්ර , ටෝනි රණසිංහ,රවින්ද්‍ර රන්දෙණිය වගේම සටන්කාමීන් හා දුෂ්ටයින් ලෙස “රොබින්” , රෙක්ස් ඩොමී, පියදාස ගුණසේකර, ඇලෙක්ස්, මර්වින්, බන්දු ලයනල් දැරණියගල, ක්ලීටස් වගේ රංඟන ශිල්පීන්ද ඉතාම ඉහළ ජන ප්‍රශාද දිනාසිටියා. මේ ශිල්පීන් වුනත් වෙනත් ආකාරයක සිනමා තරු ලෙස ප්‍ර්ෂකයින් වැලඳගත්හ. එදා හැත්තෑවේ දශකයේ හා අසූව දශකයේ චිත්‍රපට සියයට අනූවක්ම කළු සුදු වුණත් , ප්‍රේෂක සිත්සතන් වල මේ සිනමා තරු ඇඳී සිත්තම් වී තිබුණේ වර්ණයෙන් නෙවේ ද…? මේ ලියවෙන කතාව එදා කළු සුදු සිනමා තිරයේ රංගනයෙන් ඉපදී ප්‍රේෂක සිතේ වෛවර්ණයෙන් තැන්පත් වූ සටන්කාමී චිත්‍රපට තරුවක් පිලිබඳ කතාවක්. ඔහු සිංහල සිනමාවේ එදා මෙදා ප්‍රේෂකයින්ට හමුවූ අතිශය කඩවසම් හා තමාටම ආවේණීක සුන්දර රිද්මයක් පළ කළ සටන්කාමී තරුවක්. අපේ සිනමාවේ පුරෝගාමී සටන් සහ ක්‍රියාදාම අධ්‍යක්ෂවරයෙක්. දශක දෙක තුනක් මෙරට ප්‍රේෂකයින්ගේ ආදරය, ආකර්ශණය දිනාගත් ප්‍රවීන රංගන ශිල්පියෙක්. බටහිර සිනමා රංගන ශිල්පියෙකුගේ බදු ප්‍රතාපවත් පෙනුමක් හා චර්යාවක් පළ කරමින් ලාංකීය සිනමා තිරය ආලෝකවත් කළ ඔහු ඔබ අප හොඳින් දන්නා, “රොබින්” රොබින් ස්ටිවන් ප්රනාන්දු.

රොබින් ප්‍රනාන්දු නම් මේ ප්‍රවීණ රංගන ශිල්පියා උපතින්ම නාගරිකයෙක්.කොළඹ කොටහේන ප්‍රදේශයේ ජන්මය ලැබූ කුඩා රොබින්ට පවුලේ පරිසරය වගේම ප්‍රදේශයේ විහාරස්ථානයත්, ජීවිතයේ මුල් අඩිතාලමක් භක්තිවන්තකමක් ලබාදුන් නිරායාසයෙන්මයි. ඒ සංවරකමත්, සමාජශීලිකමත් සමඟම ඔහුගේ වර්තමාන චරිතයත්, සියලු හැකියාවන්වලටත් සවිමත් පදමනක් හා ආලෝකයක් ලබාදුන්නේ ඔහුගේ පාසලයි. ඒ කොටහේන “ශාන්ත බෙනප්‍රවීණ ඩික්ට්” විදුහලයි. ඔහුගේ පසුකාලීන රංගන හැකියාවන් හා සටන් කලා කුසලතා වෘත්තීය මට්ටමකට දියුණු කර ගැනීමට ප්‍රදාන සම්පත් හා ශක්තිය ලබාදුන්නේ තම පාසල බව රොබින් පවසන්නේ ස්තූතිය හා ගෞරවය පිරුණු සිතින්. “මගේ මේ ජීවන ගමනත් සිනමාව කියන වෘත්තියත් මේ තරම් සාර්ථකව කරගනන්ට මට ශක්තියක් පුහුණුවක් ලැබුණේ මගේ පාසැලෙන්. වයස දොළහක් දහතුනක් වන විටම මා පාසලේ ජිම්නාස්ටික් හදාරන්නට අවස්ථාව ලැබුණා. එ යුගයේ ජිම්නාස්ටික් ක්‍රීඩාව තිබුණේ අපේ පාසලේ පමණයි. ජෝර්ජ් ඇට්කින්සන් කියන මහා පුහුණුකරුවා ජිම්නාස්ටික් ක්‍රීඩාවේ සියලු පැති පිලිබදව අපට පුදුමාකාර අධ්‍යාපනය දුන්නා. ඒක අද දක්වාම මගේ ශරීරයේ රැඳෙන පුහුණුවක්. පසුකාලෙක සිනමාවට ප්‍රාණවත්, රිද්මයක් ඇති සටන් කලාවක් හඳුන්වාදෙන්න මට එතුමාගෙන් ලැබුණු අධ්‍යාපනය පුදුම විදිහට ඉවහල් වුණා. ”

අනෙක් අතින් මේ යුගයේ ක්‍රියාශීලි සිසුවකු වන රොබින්, ශිෂ්‍ය බට කණ්ඩායමේ කෝපරල් වරයෙකු වගේම වෙඩි තැබීම්, බොක්සිං, ජූඩෝ, කරාටේ පිලිබඳවත් මනා පුහුණුවක් ලබනවා. ඒ අතරමයි ඔහුට සිනම මාධ්යයට ආශාවක්, ඇල්මක් ඇතිවන්නේ. ඒ වගේම ච්ත්‍රපට රංගනය අත්හදා බලන්නට අපූරු අවස්ථාවක් ලැබෙන්නේ. පාසලෙ එදා සත දහයට බටහිර ක්‍රියාදාම ච්ත්‍රපට පෙන්වද්දි කුඩා රොබින් ඒවා කෙසේ හෝ නරඹනවා. ඔහුගේ ඒ දිනවල වීරයා වුණේ ඇමෙරිකානු ජනප්‍රිය නළුවෙකු හා ජිම්නාස්ටික් ශූරයෙකු වූ “බර්ට් ලැන්කැස්ටර්”. බර්ට් ලැන්කැස්ටර් වගේ සටන්කාමි නළුවකු බවට පත්වන්නට ඔහුටත් ආශාවක් ඇතිවී නොතිබුණාම නොවෙයි. ඊට වසර කිහිපයකට පසුව අර්නස්ට් පෝරුතොට පියතුමාගේ අවධානයට ලක්වීමෙන් පසු යොවුන් රොබින් හට මි.මි. හි චිත්‍රපටයක සටන් දර්ශනයක රඟපාන්නට අවස්ථාව ලැබෙනවා. ඒ රොබින් සිනමා කැමරාවක් ඉදිරියේ රංගනයට එක්වූ මුල්ම අවස්ථාවයි. “හිඟන කොල්ලා” නම් ඒ කෙටි චිත්‍රපටය තිරගත වුණේ නැතත් එය ඔහුට නවතම අත්දැකීමක් වුණා. නැවතත් දිගින් දිගටම ජිම්නාස්ටික් ඇතුළු ක්‍රීඩාවන් හදාරන රොබින් අවට පාසල් අතර ක්‍රීඩා උත්සවවලත්, තරඟ ඉසව් කලත් ශූරතා දිනානිමින් ජිම්නාස්ටික්ක්‍රීඩාවේ ජනප්‍රිය තරුවක් බවට පත්වෙනවා. නිදහස් දින උත්සවයේදී වගේම 1953 බ්‍රිතාන්යේ එලිසබෙත් රැජින මෙරටට පැමිණි අවස්ථාවේදීත් තමන්ගේ ජිම්නාස්ටික් කුසලතා එළිදැක්වීමේ අවස්ථාවත් යොවුන් රොබින් උදාකර ගත්තා. 1957 දක්වාම රොබින් ප්‍රනාන්දු නම් පුෂ්ටිමත් කඩවසම් ක්රීඩා ශූරයා ශාන්ත බෙනඩික්ට් විදුහලේ දීප්තිමත් තරුවක් ලෙස ජනප්‍රිය වී සිටියා.

1962 වසර මේ කඩවසම් සුන්දර තරුණයාට රංගන ශිල්පියෙකු ලෙස සිනමාවට එක්වන්නට දුලබ අවස්ථාවක් ලැබෙනවා. ඒ ටයිටස් තොටවත්තගේ “චණ්ඩියා” චිත්‍රපටයෙන්. ඔහුට මේ අවස්ථාව ලබාදුන්නේ එදා රොබින්ගේ අසල්වාසියෙකු වූ ප්රවීණ පුවත්පත් කලාවේදියෙකු වූ ආරියරත්ත කහවිටයි. “චණ්ඩියා” චිත්‍රපටයේ පළමුවරට රොබින් පෙනී සිටියේ ච්ත්‍රපටයේ ප්‍රදාන නළුවා වූ “ගාමිණි ෆොන්සේකා” සමග පිහිනුම් තටාකයක කරන සටන් දර්ශනයකටයි. මේ කෙටි චරිතයක් සටන් කිරීමත් ඉතාම ප්‍රබලව කරන්නට සමත් වූ ඔහු එදා පටන්ම ප්‍රේෂකයාගේ ආකර්ශණය ලබාගත්තා. (මේ සටන් දර්ශන අපේ සිනමාවේ හොඳම සටන් දර්ශන වලින් එකක් බව සිනමා ක්ෂේත්රයේ පිලිගැනීමයි) එතැන් සිට ඔහුට අපේ සිනමාවේ සටන් දර්ශන විශාල වෙනසකට ලක්කරන්නට අවස්ථාව ලැබෙන්නේ ඒ යුගයේම ච්ත්‍රපට හත අටත සටන් නළුවෙකු හැටියට රඟපාන්නට මෙන්ම සටන් මෙහෙයවන්නට ද ඉඩ හසර ලැබුණු නිසායි. “සැඟවෙන සෙවණැල්ල”, “බයිසිකල් හොරා”, “කපටිකම” වගේ චිත්‍රපට රොබින්ගේ මේ වෙනස් ප්‍රරවේගවත් සටන් දර්ශන තිබුණු මුල්ම අවස්ථාව වෙනවා. තමා ප්‍රදානන චරිතය රඟපෑ මුල්ම චිත්‍රපටය වූ “දැවෙන පිපාසය” ච්ත්‍රපටයේදීත් සටන් දර්හන වලට අලුත් මුහුණුවරක් දෙන්නට ඔහු උත්සාහ කළා. හැත්තෑව දශකයේ මුල්ම වසරවල “රන් ඔන්චිල්ලාව” , “බිඳුණු හදවත්” , “සිංගප්පූරු වැලි” , “අබිරහස” , “හාර ලක්ෂය” ඉහත “ආත්මය” වගේ චිත්‍රපටවල රොබින් තම චරිත රංගනයත් හා මුසුවුණු තාත්වික හා ආකර්ශණීය සටන් හා ක්‍රියාදාම දර්ශන ඉදිරිපත් කළා. (විශේසයෙන් “හාර ලක්ෂය” චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් .ප්‍රනානදු සමග අඳුරු ලියවන පට්ටලයක් තුල සිදුකරන දිගු සටන් දර්ශනය මෙරට සිනමාවේ සටන් දර්ශනවල විශිෂ්ට කඩඉම් අවස්ථාවක් සලකුණු කළා.) හැත්තෑව දශකයේ මෑත භාගය වන විට රොබින් අපේ සිනමාවේ අති දක්ෂ සටන් හා චරිතාංග නළුවෙකු හැටියට විශාල ප්‍රේෂක ප්‍රාසාදය දිනාගත්තේ නිරායාසයෙන්. ( “සිහසුන”, “හදවත් නැත්තෝ”, “ආසාව”, “සිකුරු ලියා” මෙන්ම “සිරිපාල සහ රන් මැණිකා”, ” අපේක්ෂා” ඊට හොඳම උදාහරණ සපයනවා.)

1980 න් ඇරඹෙන නව දශකයේදීත් ඔහු ප්‍ර්ෂක මතකයේ රැඳෙන චරිත නිරූපණ ගණනාවකට එක්වුණා “රක්තා”, “කිඳුරු කුමාරි”, “සංඛපාලි”, “අ.ජා.නා.” , “බඹර ගීතය”, “අහිමි දඩයම” , “හස්ති වියරුව” , “චුට්ටෙ” , ” ජීවිතයෙන් ජීවිතයක්” , “මුහුදු ලිහිණි” වැනි අසූව දශකයේ මුල් භාගයේ චිත්‍රපට ගණනාවක් රොබින් ප්‍රනානදු නම් රංගන ශිල්පියාගේ ප්‍රශංසනිය රඟපෑම් සටහන් කළා. අනූව දශකයෙන් පසු ඔහුගේ වඩා පරිණත රගපෑම් ඇතුලත් වුණේ “තණ්ශා ආශා” , “සප්ත කන්යා” හා “විසිදැල” වැනි චිත්‍රපටවලයි”.. (මින් තණ්හා ආශා චිත්‍රපටය වෙනුවෙන් ඔහු සජීවී කුසලතා සම්මානයක් දිනාගත්තා වගේම “සප්ත කන්යා” හා “විසිදැල” චිත්‍රපටවල පොලිස් පරීක්ෂක චරිත සඳහා විශිෂ්ට සාධාරණයක් කළ බැවි කිව යුතුය.) තමා රගපෑ චිත්‍රපට අතර ඔහු කැමතිම හා හොඳම චිත්‍රපට වශයෙන් රොබින් හදුවන්නේ “හාර ලක්ෂය” , “හදවත් නැත්තෝ” , “සිරිපාල හා රන්මැණිකා” හා “රක්තා” යන චිත්‍රපටයි. මේ අතරින් මෙරට දිවිගෙවූ සැබෑ චරිත ඇතුලත් වූ “හාර ලක්ෂය (රාජපක්ෂ වෙද මහතා) සහ “සිරිපාල සහ රන්මැණිකා (ලයනල්)” යන චිත්‍රපට ඔහුගේ සුවිශේෂී මතකයන් වෙනවා.

මේ වනවිට වසර පනහකටත් අධික සිනමා දිවියක් ගෙවා ඇති රොබින් ප්‍රනානදු නම් සටන් කාමී රංගන ශිල්පියා ලාංකීය සිනමාවේ එදි සිටි සියලු ජනප්‍රය තරු සමඟ එක්ව විවිධ චරිත ප්‍රතිනිර්මාණ කරමින් සිනමා තිරය ආලෝකවත් කළේ ප්‍රේෂක මතකය අසාලිප්ත කරමින් සිනමා තිරය ගාමිණී – රොබින් , විජය – රොබින් , රවින්ද්ර – රොබින් , ටෝනි – රොබින් , රොබින් – ජෝ , රොබින් – ඇලෙක්ස් , රොබින් -රෙක්ස් වැනි යුගල රංගන අවස්ථා වලින් ඔහුගේ රංගනයන් වඩාත් ඉස්මතුකළ බව පෙනී යනවා. හැත්තෑව දශකයේ මතුවූ ප්‍රකටම සිනමා නිලියන් කිහිප දෙනෙකුම ඔහු හා එක්ව රංගනයේ යෙදුනා. මාලිනී, නිලන්ති, නීටා, ස්වර්ණා, සුවිනීතා, ශිරුණි, දේවිකා, ගීතා, ශ්‍රියානි, අනෝජා, වීනා, ෆරීනා මෙන්ම සබීතා රොබින්ගේ පෙම්වතිය හෝ සහායක නිළිය ලෙස රංගනට එක්ව තිබෙනවා. මේ සියල්ල රොබින්ගේ ජීවිතයේ තෘප්තියත්, අර්ථයත් ඉහළට ඔසවා තබන්නට සමත්. “සුරදූතියෝ” සහ “නින්ජා ශ්‍රී ලංකා” ඔහු අධ්‍යක්ෂණය කළ ප්‍රනානදු දෙකම සැබෑ සිද්ධීන් ඇසුරින් ලංකාවේ ක්‍රියාදාම සිනමාවක් මතුකර ගැනීමට ගත් ප්‍රබල උත්සාහයන් ලෙස සැලකෙනවා. (මින් “සුරදූතියෝ” චිත්‍රපට 1986 සරසවි චිත්‍රපට උළලේදී අධ්‍යක්ෂණය සදහා විශේෂ කුසලතා සම්මානයක් දිනා ගත්තා.)

පසුකාලීනව සිනමාවේ සිට රූපවාහිනි තිරයටද රොබින්ගේ රංගන චාරිකාව විහිදෙනවා. “හිම රාත්‍රිය” ටෙලි නාට්‍යය සමග රූපවාහිනි නාට්‍යය වෙත එළඹෙන ඔහු ටෙලි නාට්‍යය වලද දිගු චාරිකාවක් ආරම්භ කළා. “සෙක්කු ගෙදර”, “ඉරබටු තරුව”, “චන්ද්රයාමය”, “සංග්රාමය”, “දාමිණි, “කෙළි මඬල”, “බෝගල සවුන්දිරිස්” ඒ අතර වඩාත් වැදගත් අවස්ථා ලෙස සැලකෙනවා.

අද ජීවිතයේ සැඳෑ සමයේ පරිණත අවධියේ සිටින “රොබින් ප්රනාන්දු” නම් රංගන ශිල්පියා, අධ්‍යක්ෂවරයා මෙන්ම සටන්කාමී සිනමා තරුව කිසිසේත් තමාගේ පසුතැවෙනුනේ නැහැ. ඒ වෙනුවට ඔහු වර්තමානයත් අනාගතයත් දෙස බලන්නේ තෘප්තිමත් සුපහන් හැඟීමකින්. “මට මගේ සිනමා ජීවිතයෙන්, නිර්මාණවලින් හා සිනමාව නැමැති කලා මාධ්යයෙන් ප්‍රේෂකයාට උපරිම වින්දනයක් වගේම සමාජ පණිවුඩයක් දෙන්නට හැකිවුණා. එය හදවත ප්‍රීතිකාරී හැඟීමක්.” ඔහු අනාගතය දෙස දෙනෙත් දල්වාගෙන පවසා සිටිනවා.

– මනෝ නවරත්න –