1947 දී “කඩවුණු පොරොන්දුව” සමග උපත ලද ලාංකීය සිනමාව මුල් වසට දහය පුරා ප්‍රකට කලේ තදබල දකුණු ඉන්දීය ආභාසයකි. ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් විසින් නිපදවූ චිත්‍රපට වලින් යුතු වූ ඒ යුගයේ ලාංකික සිනමාව මුලුමනින්ම වාගේ දකුණු ඉන්දියානු චිත්‍රාගාර චිත්‍රපට ශෛලිය ප්‍රකට කලේය. “කඩවුනු පොරොන්දුව” චිත්‍රපටයේ සිට නිර්මාණය වූ බොහෝ චිත්‍රපට වල රංගන ශෛලිය පැහැදිලිවම වේදිකාමය ස්වභාවයක් පල කල අතර රූපරාමු, කැමරා චලන, සංගීතය, ගීත මෙන්ම, සංස්කරණය, ආලෝක කරණය වැනි සියලු අංග වලින් පළ වූයේ දකුණු ඉන්දීය චිත්‍රපට වල ශෛලියයි. ඉන්දීය අධ්‍යක්ෂක වරුන් අතින් බිහිවූ මේ චිත්‍රපට වලින් සිනමාරූපී ගුණයකින් යුත් කතාන්දරයක් හෝ අපේ රටේ ජන ජීවිතය හා සංස්කෘතික සමාජ ලක්ෂණ නිරූපනය වූ බවක් නොපෙනේ. මේ මුල් යුගයේ පැවතියේ ඉන්දියානු චිත්‍රාගාර සම්ප්‍රදායෙන් ආනයනය කරන ලද නුපුරුදු ආගන්තුක කලා මාධ්‍යයක ආධිපත්‍ය යැයි කිව හැකිය. මීට අමතරව කිසියම් දුරකට ලාංකික ජන ජීවිතය වෙනස් අයුරින් නිරූපනය කරන්නට තැත් කලේ සිරිසේන විමලවීරගේ චිත්‍රපට මගින් පමනකි.

එසේ ලාංකීය සිනමාව මත පතිත වී තිබූ දැවැන්ත දකුණු ඉන්දීය සිනමාවේ සෙවනැල්ල ඉවත් කලේ 1956 තිරගත වූ එක්තරා වෙනස් මුහුණුවරක් ගත් සිංහල චිත්‍රපටයක් විසිනි. එය “රේඛාව” නම් විය. එය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් අග්‍රගන්‍ය සිනමා කරුවාගේ සිනමාකරණයේ ඇරඹුම සටගන් කල කුළුඳුල් චිත්‍රපටයයි. ප්‍රවීන විචාරක හා රචක රෙජී සිරිවර්ධනගේ මතයට අනුව සිංහල සිනමාව බිහිවන්නේ රේඛාව සමගය. එය සිංහල සිනමාවේ ඉදිරි මග බිහිකිරීමට එතරම්ම බපෑමක් කළ බව පැහැදිලිය. 1919 දී රෝමානු කතෝලික පවුලක උපන් ලෙස්ටර් ජේමිස් පීරිස් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලද පාසැලේදී හා නිවසේදී පවා ඉංග්‍රීසියෙන් කතා කරන පරිසරයක හැදුනු වැඩුනු දරුවෙකු විය. සිය පවුලේ නත්තල වැනි කිතුනු උත්සව උත්සවශ්‍රීයෙන් සමරන අයුරු කුඩා ලෙස්ටර් මනාව නිරීක්ෂනය කලේය. වයස අවු 11 පමණ වෙද්දී ඔහුගේ පියා මිලිමීටර් 8 කුඩා චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් මිලදීගත් අතර. ලෙස්ටර් හා ඔහුගේ සොහොයුරු අයිවන් ලද පලමු චිත්‍රපට නැරඹීමේ අත්දැකීම එය විය. ශාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු, එකල සිනමා මාධ්‍ය පිලිබද කිසිදු උනන්දුවක් පෙන්නුවේ නැත. පාසැල් අධ්‍යාපනයෙන් අනතුරුව 17 හැවිරිදි වියේදී පුවත්පත් කලාවේදියෙකු ලෙස “ඩේලි නිවුස්” පුවත් පතට ඔහු එක් වූයේ ඉතා කැමැත්තෙනි. ඔහු කෙටි කලක් මෙරට ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකම වාර්තා කරුවෙකු හා ලේඛකයෙකු ලෙස කටයුතු කලේය.

1947 දී එංගලන්තය බලා යන ලෙස්ටර් සිනමා කලාව කෙරේ පැහැදිලි ඇල්මක් හා  අවබෝධයක් ලබා ගන්නේ එහිදීය. ලන්ඩනය පුරා පැවති සිනමා සංගම් ව්‍යාපාර සමග එක්ව කටයුතු කරන ලෙස්ටර් ඉන් ලද ආභාසය හා අත්දැකීම් මත තම මිතුරෙකු සමග එක්ව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කලේය. “සොලුලොකියු” නම් වූ එය පර්යේෂනාත්මක චිත්‍රපටයක් විය. එය කෙටි චිත්‍රපටි දැක්මකදී ත්‍යාගයක් ද දිනාගත් අතර ඔහු තවත් කෙටි චිත්‍රපට දෙකක්ද නිර්මාණය කලේය. මේ යුගයේ ශ්‍රී ලංකාවේ රජයේ චිත්‍රපට අංශය ආරම්භ කිරීමට පැවරී තිබූ රැල්ෆ්කීන්ගේ ආරාධනය අනුව සිනමා මාධ්‍ය පිලිබඳ තම දැණුම උරගා බලා තිබූ ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයේ සහය අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කිරීමට 1952 දී නැවත ලංකාවට පැමිණියේය. වසර කීපයක් සහය අධ්‍යක්ෂක වරයෙකු ලෙසත් වාර්තා චිත්‍රපට කරුවෙකු ලෙස එලිමහනේ ශ්‍රී ලාංකික ජන ජීවිතයේ විවිධ පැතිකඩ රූපගත කළ ඔහුට මේ තමා අත්දුටු ජන ජීවිතය සිනමා කෘතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය තදින් දැනුනි.

ඒ වනවිට මෙරට පැවති දකුණු ඉන්දීය විනෝදාස්වාදන සිනමාවේ ගොරහැඩි ලක්ෂණ ඔහු තුල අපට ආවේනික නව සිනමා ආකෘතියක් බිහිකල යුතුය යන හැඟීම බලවත් කළේය. 1955 දී රජයේ චිත්‍රපට අංශයෙන් විලී බ්ලේක් හ ටයිටස් තොටවත්ත සමග ඉවත් වුනු ලෙස්ටර්, පලමු වරට එලි මහනේ දර් ශ ණ රූගත කරමින් මෙරට ගැමි ජීවිතයේ ස්වභාවය තාත්වික ලෙස හසුකරගත් චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. “රේඛාව” නම් ඒ චිත්‍රපටය ලාංකික චිත්‍රපට ඉතිහාසය මුලුමනින්ම වෙනස් කළේය. එය 1956 දී සිංහල සිනමාවේ අනාගතය උදෙසා ලෙස්ටර් දුන් විප්ලවීය දායාදය විය. එතැන් සිට මේ දක්වා වෘතාන්ත චිත්‍රපට 20ක් ද වාර්තා චිත්‍රපට ගණනාවක්ද නිර්මාණය කල ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් සිනමා කරුවා ශ්‍රී ලංකාව බිහි කල විශිෂ්ඨතම සිනමා වේදියෙකු මෙන්ම යුගයක් නිර්මාණය කළ සංස්කෘතික ප්‍රාඥයෙකු ලෙස පැහැදිලිව හැදින්විය හැක.

විවිධ විෂයන් හා තේමාවන් මත චිත්‍රපට නිර්මාණයේ යෙදුනු ඔහුගේ සිනමාවේ වඩාත් ප්‍රශස්ත හා සදානුස්මරණීය නිර්මාණ බිහි වූයේ තමාට වඩා සමීප මැද පන්තික පවුල හා ඇතුලට නැඹුරු වූ මනසින්  යුත් චරිත ගවේශණය යන තේමාව මතය. “ගම් පෙරලිය, කලි යුගය හා යුගාන්තය” මෙන්ම දෙලොවක් අතර, රන්සළු, නිධානය, අහසින් පොලොවට වැනි ඔහුගේ වඩා සියුම් රිද්මයක දිවෙන චිත්‍රපට මෙකී තේමාවන් හා වස්තු බීජ වලට ඉතා සමීප කෘතීන්ය. ලෙස්ටර් ගේ චිත්‍රපට අතර විශිෂ්ටතම නිර්මාණය ලෙස බොහෝ විචාරකයින් හා ප්‍රේක්ෂකයින් නම් කරන්නේ “නිධානයයි”. බිඳ වැටෙන රදල වංශවතෙකුගේ අඳුරු, රුදුරු මානසිකත්වයන් මෙන්ම, ඔහුගේ ඛේදනීය ඉරණමත් විශිෂ්ට සිනමාරූපී බවකින් ප්‍රකාශ කෙරෙන “නිධානය” සිනමා කෘතියක සියලු අංග ප්‍රබල ලෙස සමබරව ක්‍රියාත්මක වූ සියුම් සිනමා අත් දැකීමකි. එය වෙනිස් ජාත්‍යාන්තර චිත්‍රපට උළලේදී රජත සිංහ සම්මානය ද පුද ලද්දේය. මීට අමතරව “රේඛාව” ප්‍රංශයේ කාන් චිත්‍රපට උළලේදී  ද “අහසින් පොළොවට” චිත්‍රපටය කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළලේදී ද “යුගාන්තය”

මොස්කව් සිනමා උළලේදීද ප්‍රධාන පෙළේ සම්මාන ලබා ගන්නා ලදී. මීට අමතරව ලෙස්ටර් තම සිනමා කලා දායකත්වය වෙනුවෙන් ප්‍රංශය ඇතුළු විවිධ ඇතුළු රටවලින්ද, ශ්‍රි ලංකාවෙන්ද ගෞරව සම්මාන ගණනාවක් ලබාගත් කලා කරුවෙකි. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු නිෂ්පාදක වරයෙකු හා තිර නාටක රචකයෙකු ලෙස ඔහු දක්වා ඇති දායකත්වය විශිෂ්ට බව පැහැදිලිය.

සිංහල සිනමාවේ හැඩතල වෙනස් කළ එහි ඉරණම් රේඛාව සටහන් කල ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමා කරුවා නිර්මාණය කළ අවසන් චිත්‍රපටය වූයේ “අම්මාවරුනේ” ය. මෙසේ ඔහු අපගේ සංස්කෘතික ජීවිතය හා චිත්‍රපටය පිලිබඳ රසවින්දන ආකල්ප පොහොසත් කරන්නට ප්‍රබල දායකත්වයක් දැක්වූ සිනමා කලාකරුවෙකු ලෙස මෙරට සංස්කෘතික ඉතිහාසය බැබළවූයේය. පසුගියදා වසර 99ක අරුත්බර ජීවිතයක් ගෙවා ඔහු අප හැර ගියේ අපට නැවත හදාරන්නටත් රස විදින්නටත් මහා සංස්කෘතික නිධානයක් උරුම කර දෙමිනි.